ගීයකට එහා

   පොඩ්ඩියෙ අම්මා අම්මාමයි තාම.........


පොඩ්ඩියේ....
පොඩ්ඩියේ අම්මා අම්මා..මයි තාම
වැරදුණේ අපි නිසයි.. ඈ වැරදිද කෝම..



බක්මහේ කොවුල්‌ බින්ජු.. පුපුරණ දාක..
නංගියෙ අම්මාගෙන්‌.. උඹ ඉල්ලනවද ගේම..

තනේ කඩා විසිකර.. පත්තිනි වේ නම්..
අනේ හාමතේ.. අපි මැරිලා එහෙනම්..
වනේ පාරන්නේ වන පල.. විස වී නම්‌..
නගේ දැන්‌ යමන්‌.. පඬිපුර ගිනි නියපන්‌..

සතා කියා ඉඳහිටක දි ඇහුණාට..
කතා හදන උන්‌ සේරම.. බෝසත්‌ ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා වැඳපන්‌.. අම්මාට..

දංකඳ නැතිදාට රන්කඳ වී පෙනිලා..
ලොකු හාමුදුරුවෝ අණ කර බණ පද එව්වා..
මුචලින්දගෙ ඇඟේ නයි කළඳුළක්‌ නැටුවා..
අපේ අම්මා බණ කතාවක්‌... බුදු ගෙයි ලිව්වා..

රත්වුණු යකඩ ලෝකුරු ගෑණුත්‌ තැලුවා..
මත්වුණු බඹරු  ඉටිමල්‌ පොකුරෙත්‌ වැහුවා..
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා..
පත්තිනි සළු වලත්‌.. ඇත්‌ තුත්තිරි තිබුණා..

සතා කියා ඉඳහිටක දි ඇහුණාට..
කතා හදන උන්‌ සේරම.. බෝසත්‌ ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා වැඳපන්‌.. අම්මාට..


ගායනය-:සාරද බණ්ඩාර 

ගී පද-: ටිරෙන් කීර්ති 

වාදනය-:සාරද බණ්ඩාර 

ග්‍ර්‍රාමීය පරිසරයක සිදු වූ ඛේදවාචකයක් එනම් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ගීතය නිර්මාණය වී ඇත.ගීතයේ අර්ථ විවරණය අනුව තමන්ට දාව ඉපදුණු දරුවන් රැකබලා ගැනීමේ අරමුණින් මව ගණිකා වෘත්තියක යෙදේ. තම දරුවන් ජීවත් කරවීම වෙනුවෙන් ඇය සමාජය ප්‍රතික්ෂේප කරන  එවන් වෘත්තිය වෘත්තියක යෙදී සිටී. ඇගේ දරුවන් අතරින් වැඩිමහල් දරුවා තම මවගේ වෘත්තීය දැන සිටියද ඔහු තම මවගේ භූමිකාව තේරුම් ගෙන නිහඬව සිටී. කෙසේනමුත් තම මව වෘත්තියෙන් ගණිකාවක් බව ඇගේ සොහොයුරිය දැනගත් පසුව අලුත් අවුරුදු දා තම මවට වැදීම ඇය ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව එම අවස්ථාවේ කම්පනයට හා සංවේගයට පත් ඔහු තම සොහොයුරියට මව පිළිබඳ ඇගේ ගුණ කථනය කරනුයේ අප්‍රකාශිත හැඟීම්  ගොන්නක් පදවැලකට ගොනු කරමිනි. 

Comments

Post a Comment

Popular posts from this blog

ගීයකට එහා